ෆේස් බුක් අද වන විට සමාජ මාධ්‍යයක්ද ? පුරවැසි මාධ්‍යයක්ද යන්න බවට තර්ක ගොඩනැගී ඇත. කෙසේ වෙතත් මෙම මාධ්‍ය කවර වර්ගයකට වැටුණ ද මෙමඟින් ඇති කරනු ලබන සමාජ බලපෑම පිළිබඳව එම ගිණුම් පවත්වාගෙන යන අපහට වගකීමෙන් මිදිය නොහැකිය.
ඒ තරමට මෙම මාධ්‍ය මඟින් කරනු ලබන බලපෑම අතිශය තීරණාත්මක බවට අද වන විට පත්වී ඇති බැවිණි. පුද්ගල සබඳතා ඇතිවීමටත්, ඒවා විවාහය දක්වා දුරදිග යාමටත්, පුද්ගල සබඳතා දුරස්වීමටත් එය ඛේදනීය ඉරණමකින් අවසන්වීමටත් මෙම මාධ්‍යයේ ප‍්‍රබලත්වය මොනවට කියාපානු ඇත. එවැනි උදාහරණ සුලබව ඉදිරිපත් කළ හැකිය. එම ඛේදනීය තත්ත්වයන් කොතරම් සාමාන්‍යකරණය වී තිබේද යත් මෙවැනි ගිණුම් පවත්වාගෙන නොයන්නන් (සමාජ මාධ්‍ය පිළිබඳ අවබෝධයක් නොමැති) පවා දන්නා කරුණක් බවට පත්වී ඇත.
යමෙකුට, මෙය පොදු ජනසන්නිවේදන මාධ්‍යයක් නොව මෙමඟින් සිදු වනුයේ පුද්ගලාන්තර සන්නිවේදනයක් පමණයි. එබැවින් මූලික ජනමාධ්‍ය මූලධර්ම (යම් ජනමාධ්‍ය ආයතනයක් කටයුතු කළ යුතු ආකාරය මෙය යැයි) මෙම මාධ්‍ය භාවිතයේදී අදාළ නොවන බවට තර්කයක් ගොඩ නැගිය හැකියි. නමුත් මෙහිදී වැදගත් වනුයේ තර්ක ගොඩ නැගීම නොව තමන්ට සිටිනුයේ එක මිතුරා ද , ඔහුව ආමන්ත‍්‍රණය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ''ජනවිඥානාත්මකව” සිතා බැලීමයි.
සමාජ ජාල ගිණුමක් පවත්වාගෙන යනු ලබන සියලූ දෙනාගේම අභිලාශය තම පෞරුෂය, ප‍්‍රවර්ධනය කිරීම බව ප‍්‍රසිද්ධ සත්‍යයකි. ආයතන හෝ වේවා සංවිධාන හෝ වේවා සත්‍ය මෙයම වේ. එහි කිසිදු වරදක් මා නොදකිනු ඇත. ඕනෑම අයෙකු සාමාන්‍ය ජීවිතයේදී, එදිනෙදා කටයුතුවලදී ද සිදු කරනුයේ තමන්ටම ආවේනික වූ පෞරුෂ ලක්ෂණ මත පිහිටාය. ඇතමෙකුට මෙය පුද්ගල සබඳතා දියුණු කිරීමේ මාධ්‍යයකි.
නැත්නම් තමන් නොදන්නා අය හඳුනාගෙන එම සබඳතා විවිධ මට්ටම්වලින් ගෙනයෑමට දරන උත්සහයකි. අයෙකුට මෙය තවත් සමාජ අපගමනී ක‍්‍රියා සඳහා කදිම මාධ්‍යයකි. ඇතැමුන්ට මෙය සමාජ ප‍්‍රගමනය සඳහාම යොදා ගන්නා මෙවලමකි.
ඔවුන්ට පෞරුෂ ප‍්‍රවර්ධනයක් අවශ්‍ය නැත. ඔවුන් බොහෝ සාහිත්‍ය නිර්මාණයන් සේ ආනන්දයෙන් ප‍්‍රඥ්ඥාවට මෙම මාධ්‍ය ගෙන යන්නෝ වෙති. ඔවුන් මත මුදාහරින සියලූ පණිවිඩ (රූප මාධ්‍යයයෙන් හෝ වේවා වීඩියෝ මාධ්‍යයයෙන් හෝ වේවා හඩපටයකින් හෝ වේවා වෙනත් ඕනෑම මාධ්‍යයකින් වේවා) සමාජ මෙහෙවරක් නැතිනම් මානවවාදී ගුණයක් සිහිගන්වමින් තම ගිණුම් හසුරුවනු ඇත. නමුත් කණගාටුවට කරුණක් නම් මෙවැනි විෂයන් පිළිබඳව බොහොමයක් උගත්තෝ පවා සිදු කරනුයේ නව පෞරුෂ ප‍්‍රවර්ධන කිරීම ම පමණි. මින් කළ හැකි වෙනත් මෙහෙවරක් ගැන ඔවුහු නොසිතති.
ඔවුන්ගේ මැදිහත්වීම මෙම මාධ්‍ය හරහා ද සිදු විය යුතුය.මෙම මාධ්‍ය භාවිතා කරන්නනි, මොහොතක් සිතන්න. උදෑසන අවධිවන විට අප වටා සිටින දහසකුත් මිතුරන් සිටිනුයේ කෙබඳු නම් මානසික ව්‍යාකූලත්වයෙන් යයි අපි නොදනිමි. ඔවුන් යම් හෝ මානසික සහනයක් අපේක්ෂාවෙන් මෙම මාධ්‍ය පරිශීලනය කරනවා විය හැකිය. නොදත් දැනුමක් අරඹයා මෙම මාධ්‍ය පරිශීලනය කරනු ඇත. යම් සාහිත්‍ය රසාස්වාදයක්, රසවින්දනයක් අපේක්ෂාවෙන් සිටිනු ඇත.
තම ජීවිතයේ සියලූ අපේක්ෂා, බලාපොරොත්තු බිඳ වැටීම් හමුවේ මානසික සහනය පතා ''අවසාන පිදුරු ගස සේ'' සළකා මෙම මාධ්‍ය පරිශීලනය කරනු ඇත. එබැවින් අප අපගේ wall එක මත තබන පණිවිඩයකින් එක් අයෙකු හෝ එක් අංශුමාත‍්‍රයකින් හෝ සෑහීමකට පත් කළ හැකිනම් කොතරම් අගනේද ? එය කොතරම් අහිංසක සතුටක් ද? එය අප කුමන ආගම ඇදහුවද එහි මූලධර්මයන් හා බැදෙන්නක් නොවේද ? සිතන්න මදකට.
ඔබ යම් සිත්තැවුලකින් උදෑසන අවධි වී, තවත් සිත්තැවුල් ඇති කරන ආකාරයේ දසුනක් දුටු විට දවසපුරා ඇති වන මානසික වියවුල් බව ඔබටම හොඳ හැටි වැටහෙනු ඇත. එබැවින් හැකි සෑම විටම යහපත් අරමුණු සඳහා මෙම මාධ්‍ය භාවිතයට ගැනීම අප සියලූ දෙනාගේ වගකීම වේ.
නිරෝෂණ තඹවිට
No comments:
Post a Comment