Friday, July 15, 2016
ඉන්දියානු හඩ කවන ටෙලිනාට්‍ය දෙස ආපසු හැරී බැලීමක්
''නිර්මාණයක පළමු කාර්ය රසවින්දනයයි. නැතිනම් චමත්කාර බව මා පෞද්ගලිකව විශ්වාස කරමි. දෙවැන්න එමඟින් ගෙන එනු ලබන සමාජ දැක්ම හා බලපෑමයි. නොඑසේ නම් ජීවන අවබෝධයයි. ''
කෙටි නිවාඩුවකට දිවයිනට පැමිණි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විමල් දිසානායක මහතා පසුගිය සතියේ දිනපතා පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් කියවන්නට ලැබුණි.
එහි ඇති කරුණු විග‍්‍රහ කිරීමේදී නිර්මාණකරණයේ ඇති වැදගත්කම හා ඉන් ඇති කළ හැකි සමාජ බලපෑම පිළිබඳව අනගි අදහස් ගණනාවක් ඒ තුළ ගැබ්ව පැවතුණි. අප ආයතනයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ සිසු සිසුවියන්ටද (ආධුනික මාධ්‍යවේදීන්)ටද දන්වා සිටියේ සියලූ දෙනාම මෙම ලිපිය කිය විය යුතු බවයි. මෙහි ඇති හරය අවබෝධ කර ගත යුතු බවයි. මෙවැනි ලිපියක් පළ කිරීම පිළිබඳව මා එම පුවත්පතට ස්තුතිවන්ත වෙමි. මෙවැනි ලිපි තව තවත් පළ කිරීමට හැකියාව ලැබේවායි සුබ පතමි.
මීට අවුරුදු ගණනාවකට පෙර රූපවාහිනි නාලිකා කීපයක .......දෙපැය නමින් ඉන්දියානු හඩ කවන ලද ටෙලිනාට්‍ය විකාශනය ආරම්භ කරන ලදි. එකල එම වැඩසටහන් ඉමහත් ජනප‍්‍රියත්වයට පත්විය. කලක් එම ටෙලිනාට්‍ය භාවිතාව අවම වූවත් නැවතත් නාලිකා කීපයක මේවා කරලියට පැමිණ ඇත. ඒ අනුව නාලිකා කීපයක අඩු වැඩි වශයෙන් වැඩිම ග‍්‍රාහකයින් පිරිසක් නරඹන අවස්ථාවන්වල දී (Prime time) මෙම නාට්‍ය විකාශනය වනු දැක ගත හැක විය.
නිර්මාණයක පළමු කාර්ය රසවින්දනයයි. නැතිනම් චමත්කාර බව මා පෞද්ගලිකව විශ්වාස කරමි. දෙවැන්න එමඟින් ගෙන එනු ලබන සමාජ දැක්ම හා බලපෑමයි. නොඑසේ නම් ජීවන අවබෝධයයි. තෙවැන්න එම දැක්ම හා බලපෑම කෙරෙහි ග‍්‍රාහකයා මෙහෙයවීම හා උත්තේජනයක් නොඑසේ නම් යම් අභිපේ‍්‍රරණයක් ඇති කිරීමයි. අතුරු අදහසක් ගෙන දක්වන්නේ නම් 80, 90, 2000 යන දශකවල වේදිකා නාට්‍ය කලාවේ රැල්ලක් ලෙස ජනප‍්‍රිය වූ වේදිකා නාට්‍ය ඔබට මතක ඇත. එම දශකවලම ඉතා ජනප‍්‍රිය වානිජ චිත‍්‍රපට ධාරාවක් ආදායම් වාර්තා බිඳ දමමින් ජනප‍්‍රිය වූවා ඔබට මතක ඇත. ඇතැම් විද්වතුන් එම ධාරා දෙක සම්බන්ධ මොන මත දැරුවද ආපසු හැරී බැලීමේදී මා ඉහත සඳහන් කළ ගුණයන්ගෙන් එකක් හෝ එම නිර්මාණ තුළ ගැබ්වී ඇතැයි සිතේ . ග‍්‍රාහක මනස යොමු නොකළද අවම වශයෙන් ආනන්දය හෝ තම නිර්මාණ තුළ රැුක ගැනීමට එම නිර්මාණකරුවන්ට හැකි විය. (මෙම ගුණාංග දෙකම ඇතුළත් නිර්මාණ නැතුවාට නොවේ ) එම යුගයන්වල ජාතික නාලිකාවල විකාශනය වූ ටෙලිනාට්‍ය ද ඉතාමත් ඉහල ප‍්‍රසස්ථ මට්ටමක පැවති බවට අමුතුවෙන් කිව යුතු නැත. ලාහිරු දහසක්, දිමුතු මුතු වැනි ටෙලිනාට්‍ය මඟින් ආරම්භ වූ එම ධාරාව දඩුබස්නාමානය, කඩුල්ල වැනි අතිමහත් ප‍්‍රසස්ථ නිර්මාණ ගණනාවකින් ඒවා සැදුම්ලත් විය. ඔබ ද ඊට සාක්ෂි කරනු ඇත.
නමුත් අවාසනාවකට වර්තමානයේ ප‍්‍රචාරය වනු ලබන ඇතැම් ඉන්දියානු හඩ කවන ටෙලිනාට්‍ය පුද්ගල මනසට ඉතා අහිතකර බලපෑම් ඇති කරන ආකාරයේ දූෂිත ජනමාධ්‍ය පණිවිඩ
(Adverse/pollution Media Massages) ගෙන එනු ලබයි. සන්නිවේදන විෂය තුළ ඒවා ''විඥ්ඥානික පරමාණු” ලෙස විග‍්‍රහ කළ හැකිය. සරලව හඳුන්වන්නේ නම් ඒවා පුද්ගල සිතුම් පැතුම්වලට අයහපත් බලපෑම් ඇති කරනු ලබන පණිවිඩ යන්නයි.
ඕනෑම පුද්ගලයෙකු සිය සිතුවිලි හෙවත් චිත්තවේග සමඟ සන්නිවේදනයේ යෙදේ.
(Interpersonal Communication) එමඟින් මනසින් කරන විධානයන් සමඟ ඔහු සන්නිවේදනය කර ගනියිි. ඉන් එම පුද්ගලයාගේ මානසික හා චර්යා රටා තීරණය වනු ඇත. නිරෝගි පුද්ගලයෙකු තුළ අයහපත් කම්පන භාහිර සාධකයන් නිසා ඇතිවීම හේතුවෙන් ඔහු තුළ අසාමාන්‍ය හැසිරීම් රටා, චිත්තවේග හා ප‍්‍රවේගකාරී තත්ත්වයන් ඇති විය හැකිය. දෛනිකවත් අඛණ්ඩවත් මෙම තත්ත්වය පැවතීම හේතුවෙන් තත්ත්වය තවත් අයහපත් වීමට ඉඩ තිබේ. එනම් එකී දූෂිත සන්දේශ පුද්ගල චර්යාව කෙරෙහි විශාල බලපෑම් ඇති කළ හැකි වීමයි. මෙවැනි හේතූන් සාක්ෂි මත පදනම්ව පුද්ගල ජෛව ක‍්‍රියාවලියට බලපෑම් කරන බවට ඔප්පු කළ නොහැකි වුවද මෙවැනි මතයන් එකහෙලා බැහැර කළ නොහැක.
ඉතා සරලව මෙම ටෙලිනාට්‍ය තුළ දැකිය හැකි ලක්ෂණ විග‍්‍රහ කිරීමේදී මානසික ආතතිය, හුදකලාව, සාංකාව, භිය, කුතුහලය, තැතිගැන්ම, සැකය, ප‍්‍රචණ්ඩත්වය වැනි ලක්ෂණයන් හැරුණු කළ වෙනතක් දැකිය නොහැකිය. නාට්‍ය ආරම්භ කළ මොහොතේ සිට අවසානය තෙක් පේ‍්‍රක්ෂකයන් මෙකී අංග උපාංගයන් ඇතුළත් කර කෙසේ හෝ ග‍්‍රාහකයා ඇඳ බැඳ තබා ගැනීමට උත්සාහ ගනී. ඒ සඳහා පවුල් ජීවිතවල ප‍්‍රායෝගිකව සිදුවිය නොහැකි ඉතා ඕලාරික සිදුවීම් ඇතුළත් කර පුද්ගල මනස අන්ද මන්ද වන ආකාරයෙන් වස්තු බීජ ගොඩ නගති. බිරිඳ හා සැමියා අතර සිදුවන අසම්මත පේ‍්‍රම සබඳතා ඉතා ඛේදනීය ආකාරයෙන් අවසන් වන අවස්ථා පවුල් සංස්ථාවේ (කුටුම්බයේ) සාමාජිකයින් අතර ඇතිවෙන අසභ්‍ය සබඳතා, මත ගැටුම්, අහේතුකව ගොඩනැගෙන කුතුහලයන් මඟින් දරු පවුල් කැඞී බිඳී යන ආකාරය ඉතා රසවත්ව ගෙන හැර දක්වයි.
තුන් ඈඳුතු එමෙන්ම සංකීර්ණ පේ‍්‍රම කතා මකුලූවෙකු තම ගොදුර ඩැහැ ගැනීමට සකස් කරන උගුල (මකුලූ දැල) සේ නිර්මාණ කරයි. එවැනි මකුලූ දැල්මෙන් ඇති අභව්‍ය පුද්ගල සබඳතා තව තවත් නිර්මාණ කරයි. අවසානයේ මෙය නරඹන ග‍්‍රාහකයින් රාත‍්‍රි නින්දට යන්නේ, ආහාර ගැනීමෙන් පසු බිරිඳ තම සැමියා සමඟ කටයුතු කරන්නේ, දරුවා පසුදා පාසල් යන්නේ, නැන්දනිය තම ලේලියගේ චර්යා රටාවන් අවබෝධ කර ගන්නේ, බිරිඳට තම ස්වාමියා කෙරෙහි ඇතිවූ යම් සැක සංකාවක් තව තවත් මෝදු වන්නේ මෙම නිර්මාණ මඟින් ඇති කළ මානසික බලපෑම මත විය හැකිය. නමුත් එහි බලපෑම පුද්ගල පෞරුෂ මට්ටම් අනුව වෙනස් විය හැකි බවට තර්කයක් ගොඩනැගිය හැකි වුවද 10000 ක් මෙම වැඩසටහන් නැරඹුවහොත් ඉන් සැලකිය යුතු පිරිසකට මෙහි අයහපත් බලපෑම ඇති විය හැකි බව බැහැර කළ නොහැක. අවසානයේ නිර්මාණය නැරඹීමෙන් පසු ඉතිරි වන්නේ මානසික ව්‍යාකූල තත්ත්වයන්ගෙන් හටගත් වියවුල් බවකි.
විශේෂයෙන් අප නොසිතන පැත්තක් කෙරෙහි අවධානය යොමු කරමි. එනම් ගැබිණි අවධියේ ඇති වෙන මානසික ආතතික තත්ත්වයන් නොරසේ නම් නොයෙක් මානසික ව්‍යාධි තත්ත්වයන් පිළිබඳවයි. ගැබිණි කාන්තාවක් වුවද මෙවැනි වැඩසටහන් නැරඹිය හැකිය. හුදකලාව හා සාංකාව වැනි හැඟීම් මෙම අවධියේ කාන්තාවන්ට බලපාන ආකාරය පිළිබඳව (The effect of pregnancy stress and Anxiety during pregnancy) එමොරි විශ්ව විද්‍යාලයේ (Emory) ආචාර්ය කත‍්‍රිනා සී ජොන්සන්(Katrina Johnson) මහත්මිය විසින් පර්යේෂණයක් සිදු කර ඇත. එමඟින් අනාවරණය වී ඇත්තේ මෙවැනි මානසික තත්ත්වයන් මවටත් කලලයටත් විවිධ ආකාරයේ බලපෑම් ඇති කරන බවයි. ඇය විසින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ මානසික ආතතිය හා හුදකලා මානසික තත්ත්වයන් කොතරම් ගර්භනී තත්ත්වයට බලපෑම් කරයිද යත් ගබ්සාවීම්, නියමිත කාලයට පෙර දරු උපත් සිදුවීම්, නියමිත බර හා උසට දරුවාගේ බර නොපිහිටීම් දරු ප‍්‍රසූතිය ආසන්නයේදී දරුවා මිය යෑම් වැනි තත්ත්වයන් ඇති විය හැකි බවයි. එබැවින් මෙවැනි වැඩසටහන් අඛණ්ඩව පුරුද්දක් ලෙස (ඇබ්බැහිවීම්) නැරඹීම මඟින් ඉහත සඳහන් මානසික බලපෑම් සිදු විය නොහැකි බව බැහැර කළ නොහැක. එනම් යමක් සිදුවීමට 100 ක් කරුණු බලපාන්නේ නම් එම 100 ය තුළ 1 ක් හෝ මෙකී හේතුන්ද ආසන්නතම උත්තේජකයක් ලෙස පැවතිය හැකිය. ජනශ‍්‍රිතක මූලාශ‍්‍ර පරිශීලනය කරන්නේ නම් ගර්භණී කාන්තාවකගේ යහපත් මානසික තත්ත්වයන් පවත්වාගෙන යාම පිළිබඳව එදා ගැමියන් මොනතරම් පරිස්සම් වූවාද ?
පර්යේෂණවලට අනුව ඇතැම් කාන්තාවන් ගර්භණී වූ අවස්ථාවල ගත කර ඇත්තේ සිය ස්වාමියා ගෙන් වෙන්වය. (ස්වාමියා විදේශ ගතවීම්, රාජකාරී කටයුතු සඳහා බැහැර ප‍්‍රදේශවල ජිවත්වීම වැනි අවස්ථා එවැනි අවස්ථාවල ඔවුන් තම තනිකම පාලූව කාන්සාව මකා ගනු ලබන්නේ මෙවැනි වැඩසටහන් නැරඹීමෙනි. ජනමාධ්‍ය පරිශීලනයෙනි. එබැවින් මෙවැනි දූෂිත ජනමාධ්‍ය සන්දේශවල ඇති බලපෑම සාක්ෂි මත පදනම්ව සෘජු ලෙසට බලපාන බව පැවතිය නොහැකි වුවද ඉතා ගැඹුරු සමාජ, සමාජ මනෝ විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක පර්යේෂණ මඟින් බලපෑමක් සිදු වන බවට තහවුරු කර ගත හැකි බව මාගේ විශ්වාසයයි.
ඉහත උදාහරණය ඇසුරින් ගෙන හැර දක්වන ලද්දේ කිසිවෙකු නොහිතන කණ්ඩයමකට ජනමාධ්‍ය පරිශීලනයෙන් ඇති විය හැකි අවධානම් තත්ත්වයන් පිළිබඳවයි. ඒවගේම අපරාධ හා ප‍්‍රචණ්ඩක‍්‍රියා ඇතුළත් වැඩසටහන්, අද්භූත වැඩසටහන් නොයෙක් ශබ්ද හා රූප ප‍්‍රයෝග ඇතුළත් වැඩසටහන් මඟින් ද පුද්ගල මනස හා චර්යාව කෙරෙහි බලපෑම් ඇති විය හැකිය. ඒවා ළමුන් සඳහා විවිධාකාරයෙන්ද, වැඩිහිටියන් සඳහා ද, තරුණ කණ්ඩායම් සඳහා ද ඔවුන්ගේ චර්යා, සිතුම් පැතුම්, මානසික තත්ත්වයන් කෙරෙහි විවිධ ආකාරයෙන් බලපෑ හැකිය. ලොව විවිධ රටවල මෙවැනි තත්ත්වයන් පිළිබඳව ඉතා වැදගත් පර්යේෂණ සිදු කර තිබුණ ද අප රට තුළ මෙවැනි අත්හදා බැලීම් සුලබ නොවී ඇත.
ඉහතින් විග‍්‍රහ කරන ලද්දේ එක් වැඩසටහන් මාදිලියක් පමණි. තවත් එවැනි අහිතකර වැඩසටහන් ගණනාවක් ඉතා සූක්ෂමව අධ්‍යයනය කිරීමේදී ඕනෑම අයෙකුට හසු කර ගත හැකිය. අවශ්‍ය නම් කෙනෙකුට මෙවැනි රූපවාහිනී වැඩසටහන් මඟින් හෝ මොන යම් හෝ වැඩසටහන් මඟින් පුද්ගල මානසිකත්වයට හෝ චර්යාවන්ට බලපෑම් නොවන බවට මත ඉදිරිපත් කළ හැකිය. නමුත් පොදු මහත් සමාජය හා ජනසන්නිවේදන මාධ්‍ය අතර පවතින ගැඹුරු සංකීර්ණ සබඳතා අද බොහෝ චිත්තකයින් හා මාධ්‍යවේදීන් විසින් අධ්‍යයනය කරනු ලබන්නේ එය ඒ තරමටම වර්තමාන මිනිසාගේ පැවැත්මට හා වර්ධනයට ඉවහල් වන බැවිනි. සන්නිවේදන මාධ්‍ය පොදු මහත් සමාජය අතර වර්තමානයේ දක්නට ලැබෙන විවිධ ප‍්‍රවණතාවන් හා මේ දෙක අතර පවතින තියුණු සබඳතාව සැලකිල්ලට ගැනිමට පෙනී යන්නේ අනාගත මිනිසාගේ පැවැත්ම හා වර්ධනයට ජනමාධ්‍ය මඟින් විශාල බලපෑමක් සිදු කරනු ලබන බවයි.
නිරෝෂණ තඹවිට
Subscribe to:
Post Comments (Atom)
TRUST ගැන
TRUST අන්තර්ජාල මාධ්‍ය සඟාරාව ඔබ වෙත පිරිනමන්නේ ඉමහත් සතුටෙන්. මෙම සඟරාව මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කථිකාවක් ගොඩනැගීම අරමුණු කරගෙන ආරම්භ කර තිබෙන්නේ. විශේෂයෙන් සන්නිවේදන විෂය හදාරණ පිරිස් වෙත දැනුම බෙදාදීමේ මාධ්‍ය සඟාරාවේ ප්‍රමුඛ අභිප්‍රාය වී තිබේ. එය ජයගනු සඳහා ඔබගේ දායකත්වය සැමදා අප බලාපොරොත්තු වෙමු.
TRUST අපි
On line
ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?
ජන සන්නිවේදනය, ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ ඔබගේ දැනුම බෙදා ගන්න අප සමඟ එක්වන්න.. ඔබගේ සාරගර්භ අඳහස් අපවෙත ලියන්න.ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?
counter
Traffic
Face book
අඳහස්
TRUST අන්තර්ජාල මාධ්‍ය සඟරාවේ පළ කෙරෙන ලිපි සහ විශේෂාංගවල කියැවෙන අඳහස් එම ලේඛකයන්ගේ අඳහස් බව සලකන්න
No comments:
Post a Comment