Trending
තොරතුරු ප්‍රාග්ධනයේ යුගයක්- ආචාර්ය චරිත හේරත්...........මාධ්‍ය දඬබීමක් වූ සිරියානු යුද ගැටුම්

Friday, July 1, 2016

මාධ්‍යයේ වගකීම හරවත් විඥානයක් ඇති කිරීමයි-ආචාර්ය ටියුඩර් වීරසිංහ

මාධ්‍ය නමැති නූතන ආයතනය සමාජය තුළ ස්ථාපනය වීමත් සමඟම, සමාජයේ විවිධ ක්ෂේත්‍ර සමඟ ගනුදෙනුවකට ඉඩකඩ සැකැසිණි. මඟ විවරවුණි. කලාව, දේශපාලනය, ආර්ථික, සමාජීය ආදි නොයෙක් ක්ෂේත්‍ර හා මාධ්‍යයේ සබැඳියාවක් ඇති විය. මේ අතරින් ක්‍රියාකාරී ක්ෂේත්‍රය වූයේ දේශපාලන ක්ෂේත්‍රයයි.


දේශපාලනය මිනිසුන්ගේ දෛනික ජීවිතයට දැනෙන ස්වභාවයත් සමඟ, මේ ක්ෂේත්‍රය තුළ මාධ්‍යයට ක්‍රියාත්මක වීම සඳහා පුළුල් අවකාශයක් ද ගොඩනැඟිණි. මේ නිසා මාධ්‍ය හා දේශපාලන ක්ෂේත්‍රය අතර සමීප මෙන්ම පුළුල් සබඳතාවක් ඇති විය. ඒ අනුව මාධ්‍ය දේශපාලන ක්‍රියාවලියේ ම කොටසක් ලෙස ක්‍රියාත්මක වීම සිදු විය.


එතැනදී සමාජයේ තිබෙන විවිධ අවශ්‍යතා මත මූලික ස්වරූප, හැඩතල මත, මාධ්‍ය ස්ථාපනය වීමට පටන් ගැනිණි. එහෙත් ඒ සමඟම ඒ සමාජයට ගැළපෙන ආකාරයට සමාජයේ මුහුණුවර තීන්දු කිරීමක් නොවුවත්, සංස්කෘතික, දේශපාලන ස්වභාවය අනුව මාධ්‍යයේ හැඩගැසීමක් බොහෝ විට සිදු විය.

මාධ්‍ය නිදහස යන්න නූතන මාධ්‍යයේ ආරම්භයත් සමඟම ඊට සමගාමීව මතුවන ගැටලුවක් බවට පත්ව තිබේ. එහෙත් සම්ප්‍රදායික සමාජය තුළ අද අර්ථයෙන් කතා කළ හැකි ආයතනයක් ස්ථාපනය වී හෝ දියුණු වී හෝ නොතිබුණි. එනමුදු මාධ්‍යයේ ලක්ෂණ තිබෙනු දැකිය හැකි විය.

ලෝකය තුළ නූතන යුගයේ ආරම්භය සිදු වන්නේ ධනවාදය සංවර්ධනය වීමත් සමඟ ම ය. නුතන සමාජ ක්‍රමයේ පරිණාමයත් සමඟ එයට සමගාමීව නව අධ්‍යාපන අායතනයක්, සමාජීය ආයතනයක් විදිහට මාධ්‍ය වර්ධනය වීමට පටන් ගැනිණි. එය සිදු වූයේ නූතන සමාජයේ මනෝභාවයන්ට ගැළපෙන ආකාරයේ අධ්‍යාත්මික, දෘෂ්ටිමය, මනෝභාවමය පරිසරයක් නිර්මාණය කිරීමේ ක්‍රමයක් විදිහට ය.

නූතන සමාජයේ ආරම්භයේ සිට ම ජනමතය, මහජන තොරතුරු ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාලක පන්තිය මඟින් අත්තනෝමතික ලෙස හැසිරවීමට පාලනය කිරීමට ක්‍රියා කරනු ලැබිණි. ඒ තුළ අධිපතිවාදී බවක් දිස් විය. මෙවන් තත්ත්වයක් දිගින් දිගටම සිදු වීම තුළ ප්‍රංශ විප්ලවයට සමගාමීව නිදහස පිළිබඳ අදහස වර්ධනය වන්නට විය. මධ්‍යතන යුගයෙන් පසු මුළු යුරෝපයේ ම ඇතිවූ පැතිර ගිය එම විප්ලවය සේම සමාජ විපර්යාස දෙස බැලූ විට එහි ප්‍රධාන සටන් පාඨය බවට පත් වූයේ නිදහස ,සමානාත්මතාව සහ සෞභාග්‍යයයි. මේ අංශ තුන මුළු යුරෝපය පුරාම සමාජ ක්‍රියාවලියට විවිධ ලෙස බලපානු ලැබීය. මතවාදී නිදහස, නැත්නම් මාධ්‍ය නිදහස යන්න වැදගත් වූවක් ලෙස සැලකිණි. එය බහුත්වවාදි ආකාරයෙන් තිබිය යුතු බවද පැවසිණි. ඒ සමගම මුළු යුරෝපය පුරාම නිදහස් චින්තකයින්ගේ අදහස් පළ වීමත්, ඒ වගේම ඊට සමගාමීව සමාජය සකස්වීම ආදියත් සිදු විය. ඒ සමඟම චින්තකයින්, ලේඛකයින්, විද්වතුන් ආදීන් බොහෝම ක්‍රියාකාරී විදිහට සක්‍රීය ලෙස එක පෙරමුණක් ලෙස ඉදිරිපත් විණි. ඒ නිසා දේශපාලනික, ආගමික, ආර්ථික නිදහස ඉල්ලූ පන්තිය වෙත ඉතා ඉක්මනින් ඒවා ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රදළ පන්තිය යටපත් වී නව නාගරික වෙළෙඳ සම්බන්ධතා සහිත පන්තියක් බිහි වුණි. එම පන්තියත් සමඟ මාධ්‍යය ද ක්‍රියාකාරී ලෙස සම්බන්ධ විය. ඒත් සමඟම නිදහස ද ඔවුන්ට හිමි වුණි. ඒ අනුව මාධ්‍ය නිදහස යන්න 17 වැනි ශත වර්ෂයේ සිට සක්‍රීයව වර්ධනය වෙමින් පවතින බව පෙනෙන්ට තිබේ.

අධිපතිවාදි මාධ්‍ය

පසුකාලීනව අධිපතිවාදි මාධ්‍ය වෙනුවට ඊට විකල්පයක් ලෙස ධනපතීන්ගේ බහුජාතික සමාගම්වල ජාත්‍යන්තර ඒකාධිකාරය තුළ අපේ මාධ්‍ය සංකේන්ද්‍රණය වීමක් දක්නට ලැබුණි. එම යාන්ත්‍රණයට අභියෝග කළ හැකි ව්‍යාපාරයක් ලෙස දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සෝවියට් සංගමය මුල් කරගෙන සමාජවාදී රාජ්‍ය පද්ධතියක් නිර්මාණය විය. ඒ හරහා ලෝකය තුළ නැවත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදි ගති ලක්ෂණ ඉස්මතු වුණි. ඒ අනුව ආර්ථික, දේශපාලන, මාධ්‍යයන්හි ක්‍රියාකාරී ඉඩ කඩ තුළ නිදහස් අදහස් වෙළෙඳ පොළ නමැති සංකල්පය ප්‍රසාරණය වී ස්ථාපනය වන්නට විය. මේ තත්ත්වය සිවිල් යුද සමයේදී ඉතා පුළුල්ව මතවාදීමය ලෙස දෙපාර්ශ්වය අතර විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් එකම මතයක් ලෙස ඉදිරිපත් වුණි. දේශපාලන මතවාදීමය මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර තුළින් බහුත්වවාදි ස්වරූපයක් ඉස්මතු විය. ඒ අනුව අමෙරිකාව තුළ යම් කිසි ආකාරයක ඒකාධිකාරි, බහුත්වවාදී ප්‍රකාශයක් ඉදිරිපත් වන බවක් මිනිසුන්ට අවබෝධ වන්නට විය. මෙය ලෝක මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මාධ්‍ය නිදහසේ සශ්‍රික යුගය ලෙස ස්වර්ණමය යුගය ලෙස හැඟිණි.

මේ ලෝක ප්‍රවණතා දෙක හමුවේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විවිධ සිදුවීම් සිදුවී සංස්කෘතික දේශපාලනික ආදි බහුත්වවාදි මතවාදයක් ජනිත කිරීමේ වාතාවරණයක් ඇති වන්නට විය. විසි වැනි සියවසේ අග භාගය වන විට සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟම නැවත වරක් ලෝක ආර්ථික, දේශපාලන තත්ත්වයන් වෙනස් වන්නට විය. ගෝලීයකරණ ක්‍රියාවලිය උද්ගත වී බටහිර ජයග්‍රහණය කිරීමත් සමඟම ලෝක ආධිපත්‍ය බටහිර නැඹුරුව තව තවත් ශක්තිමත් වුණි. ඒත් සමඟම පෙර තිබූ ලෝක ක්‍රමය ලෝක පද්ධතිය වෙනුවට ‘ඒක ද්‍රවික’ ලෝක පද්ධතියක් නිර්මාණය වන්නට පටන් ගැනුණි.

එහි ප්‍රතිඵලය වූයේ පෙර තිබූ ලෝක සිදුවීම් විවිධ මාර්ග ඔස්සේ විවිධ ප්‍රවේශ ඔස්සේ අර්ථකතනය කිරීම හා ගෙනහැර දැක්වීමේ බහුත්වවාදි පරිසරය විනාශ වී යාමය. ඒ වෙනුවට ඒකාධිකාරි ඒක මතවාදි ස්වරූපයක් තුළ සිදුවන සියලුම සිදුවීම් අර්ථකතනය කිරීමට පසුගිය දශක තුනක පමණ සිට ලෝකය හැඩගැසී ඇත. මෙය ගෝලීය වශයෙන් මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නය මතු කරන මොහොතක් ලෙස හඳුනා ගැනීමට පුළුවනි. මානව ඉතිහාසය තුළ මෙවැනි තත්ත්වයක් ලෝක මතය ඒකාධිකරණයට සර්වාධිකරණයට ලක් වු තවත් අවදියක් සොයා ගත නොහැකි තරම් ය. මේ මොහොත වන විට මනුෂ්‍ය සංහතිය සමස්තයක් විදිහට සමාජ පරිණාමීය ක්‍රියාවලියේ සුවිශේෂී සංධිස්ථානයකට පැමිණ ඇත. එම සංධිස්ථානයේ මූලික හරය වන්නේ 20 වැනි ශත වර්ෂයේදී ඇරැඹූ බහු ධ්‍රැවික රටාව හා විවිධ ජීවන ක්‍රමවල තිබුණු අයිතිය සමඟ වර්ධනය වී පසුකාලීනව සශ්‍රීකත්වයට පත්වීමයි.

අමෙරිකා එක්සත් ජනපදය, බටහිර යුරෝපය, නේටෝ ප්‍රධාන රටවල් බටහිරවාදය ඔස්සේ යමින් ලෝක ආධිපත්‍යය දිනා ගැනීමට ප්‍රවේශ වීම පමණක් නොව, මේ මොහොත වන විට මානව සංහතියේ අනාගත සමාජ පරිණාමිය ක්‍රියාවලියේ ආධිපත්‍ය පවා සියතට ගැනීමට මේ වන විට ගෝලීය මට්ටමෙන් ක්‍රියාත්මක වෙමින් සිටී.

එහිදී මාධ්‍ය නිදහස යන්න තවදුරටත් කිසිම ආකාරයකින්වත් කතා කළ නොහැකි, ඒ පිළිබඳ කතාකිරීම යථාර්ථවාදී නොවන තත්ත්වයකට පත්ව ඇත. ඒ නිසා මාධ්‍ය නිදහස යන්න අද වන විට කතා කිරීමට සිදුව ඇත්තේ ගෝලීය සමස්තයක් ලෙසින් සංවර්ධනය වෙමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් අනුව යමින් වෙනමම අවධියකට අවතීර්ණ වී ඇති දෙයක් ලෙසට ය.
ගෝලීය මාධ්‍ය

මේ තුළ සම්පූර්ණ ගෝලීය මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ ගෝලීය මාධ්‍යයේ ස්වභාවය එහි ගති ලක්ෂණ ලෝක මාධ්‍ය ඔස්සේ කතා කරන ත්‍රස්තවාදය සහ ලොව පුරා සිදුවන වෙනත් දේ අර්ථකථනය වන ආකාරය තුළ සමස්තයක් ලෙස පොදු සහ සර්ව ස්වරූපයක් අද වන විට අත්පත් කරගෙන තිබේ. මාධ්‍යයේ පෙර තිබූ බහුවිධත්වය, විවිධත්වය, විවිධ මතවලට පවතින්න තිබෙන අයිතිය සහ හැකියාව අයිතිය ජනතාවගේ සම්ප්‍රදායික උරුමයන්ට ඔවුන්ගේ දේශපාලනික, සංස්කෘතික, අධ්‍යාත්මික වටිනාකම්වලට පුරුෂාර්ථවලට ගරු කිරීම් හා ඒවා සැලකිල්ලට ගැනීමේ අවකාශය සම්පූර්ණයෙන්ම අභාවයට ගොස් තිබේ. ඒ වෙනුවට බටහිරවාදී වටිනාකම් සහ එහි දෘෂ්ටිවාදයට අනුව මේ මොහොත වන විට සමස්ත ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලනික ක්‍රියාවලිය හසුරු වන ගෝලීය මතය, නැත්නම් ලෝකයේ විවිධ කලාපවල සිදුවන සිදුවීම් අර්ථකථනය කිරීමේ, ඉදිරිපත් කිරීමේ ආයතනයක් බවට අද වන විට මාධ්‍ය පත්ව ඇත. ඒ තුළ ලෝක මාධ්‍ය නිදහස් දිනය යන්න සම්පූර්ණයෙන්ම නාමික සහ පොදු සම්ප්‍රදායක් බවට පත්ව තිබේ. අද වන විට මාධ්‍ය සුපිරි සමාජ තත්ත්වයකට පරිවර්තනය වී ඇත. අද ලෝක මාධ්‍ය සහ ඒ මාධ්‍ය මතවාද ගොඩනැඟී ඇත්තේ සුපිරි සමාජයට ගැළපෙන ආකාරයටය. ඒ තුළ පුදුමාකාර ලෙස දේශපාලන වශයෙන් ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදි ස්වරූපයක්ද මතවාදී වශයෙන් ආගමික ස්වරූපයක්, අධ්‍යාත්මික සම්ප්‍රදායන්ගේ පැවැත්මට ඇති අයිතිය, ආර්ථික වශයෙන් ගත්විට ආර්ථික ව්‍යුහයන්ට අනුව ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන්ම අතුරුදහන්ව ඇත. සමස්තයක් ලෙස ගත්විට ඒකීය බටහිරවාදී ගෝලීය තත්ත්වයක් ගති ලක්ෂණ අත් කරගෙන තිබේ. ඒ අර්ථයෙන් ගත් විට ලෝක මාධ්‍ය දිනය සමරන මේ මොහොත වන විට අපට දැකිය හැක්කේ ඓතිහාසික පරිණාමය තුළ පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී සුපිරි ආර්ථික මාදිලියක් බවට පත්වූ, කේන්ද්‍රීය රටවල් පාදක කරගත් සුපිරි මාධ්‍ය ආයතන ව්‍යුහයකි. අද වන විට එම සුපිරි මාධ්‍ය ආයතනයට ලෝකයේ තිබෙන සියලු රටවල් නතුවී තිබේ. ඒ හරහා මාධ්‍ය නිදහස පිළිබඳ අර්ථය සම්පුර්ණයෙන්ම වෙනසකට ලක්වී ඇත.

මාධ්‍යකරුවන්ට නිදහසක් ඇත

මාධ්‍යකරුවන් ගත්තත්, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය, ඔහුට නිදහසක් ඇත. එහෙත් අද වන විට ජාතික මාධ්‍ය පද්ධතිය තුළ ක්‍රියාත්මක වන්නේ ගෝලීය බටහිර මාධ්‍යයේ ගති ලක්ෂණ වීම නිසා මේ තත්ත්වය නැවත වරක් විමසුමට ලක් කළ යුතුව ඇත. වත්මන් මාධ්‍ය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට නම් නොදියුණු මාධ්‍ය පද්ධති පිළිබඳව නොව සුපිරි මාධ්‍ය ව්‍යුහය පිළිබඳ අධ්‍යයනය කළ යුතුව ඇත. එම මාධ්‍යයන්ගේ වැදගත්කම, ඒවා ක්‍රියාත්මක වන ආකාරය, මාධ්‍යකරුවන්ගේ ක්‍රියාකාරීත්වය, මාධ්‍ය හිමිකරුවන් හැසිරෙන ආකාරය, මතවාද හසුරුවන ආකාරය පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණයකට ගියහොත් මෙහි යථාර්ථය අවබෝධ වේ. එවිට අපේ රටවල් වැනි යුරෝපී මාධ්‍යයන්ට පරිබාහිර මාධ්‍යයන්ගේ ගති ස්වභාවය දැකගත හැකි වනු ඇත.

යුරෝපීය රටවල දෛනිකව සිදුවන දේවල් මාධ්‍ය මඟින් පෙන්වීම තුළ බහුත්වවාදී ස්වරූපයක් මතුපිටින් පෙනෙන්නට තිබේ. එහෙත් ඉරාන ඉරාක සිරියානු ප්‍රශ්න වැනි ලෝකයේ යුදමය ප්‍රශ්නවලදී අඩු වැඩි වශයෙන් සුපිරි මාධ්‍යයේ හැසිරීමේ විවිධත්වයක් පවතින බව මෙන්ම එහි වෙනස්කම් වුව අපට අවබෝධ කරගත හැකිය. අවසාන වශයෙන් බලන කල සියලුම මාධ්‍ය ආයතන සිදුවීම් අර්ථකථනයේදී දැක්වූ විවිධත්වය ව්‍යාජ මෙන්ම ජනතා ආකර්ෂණය අවධානය උදෙසා ඇති කරගත් උපක්‍රමයක් බව වටහා ගැනීමට පුළුවනි. එසේම එය උපක්‍රමික වශයෙන් සිදු කරන්නක් බවද පෙනේ. විවිධත්වය තුළ ඉදිරිපත් කළ ද අවසාන වශයෙන් මාධ්‍යකරුවන් ඉටු කර ඇත්තේ සුපිරි පාලක පන්තියේ මතවාදයට ගැළපෙන ආකාරයට ය. එහෙත් එය ආරම්භක වශයෙන් දිස් වන්නේ පරස්පරතාවක් පවතින ආකාරයටය. මේ තත්ත්වය ඉරාක ප්‍රශ්නයෙන් වුව හඳුනා ගැනීමට පුළුවනි. සියලුම මාධ්‍ය අවසානයේදී ඉරාකයට පහරදීම අනුමත කර ඇත්තේ මේ නිසාය. ඒ අනුව මහජන මතවාදයද ගොඩනැඟීම සිදුවනු ඇත. ඒ තත්ත්වය ඔවුන් ගොඩනඟන්නේ ක්‍රමානුකූලව වීම මෙහි ඇති සුවිශේෂීම තත්ත්වයයි. ගෝලීය මාධ්‍ය මෙලෙස ක්‍රියා කිරීම හේතුවෙන් ගෝලීය මාධ්‍යයට පැවැති නිදහස පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. එකම ලෝකයක් එකම ආර්ථිකයක් එකම දෙයක් බවට පරිවර්තනය වීම තුළ මාධ්‍ය නිදහස යන්න අද වන විට අර්ථයක් නැති දෙයක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාව පිළිබඳ කතා කළ ද, පශ්චාත් යුදවාදි සමාජයකට පරිවර්තනය වීම තුළ විවිධ අදහස් ප්‍රකාශ කිරීමක් සිදුවෙමින් පවතී. පෙර කියු ගෝලීය ප්‍රවණතාවන් ශ්‍රී ලංකාව තුළ ද ඉස්මතු වෙමින් ඇත. එම තත්ත්වය වර්ධනය වීමක් ද දැකිය හැකිය. මේ වන විට ගොඩනැඟී ඇත්තේ පොදු බලයකි. මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයට වඩා පාලන හා මාධ්‍යමය භාවිතයට අවශ්‍යතාව ස්වභාවයෙන්ම මතුවී තිබේ. ඒ තත්ත්වය මත මේ වන විට ශ්‍රී ලංකාව තුළ යුද සමාජයේ අභියෝගවලට වඩා වෙනස් අභියෝග රාශියකට මාධ්‍යයට මුහුණ දීමට සිදුව ඇත. එදා එල්ටීටීඊ යේ මතවාද ජනතාවගේ සිත් ධෛර්යමත් කිරීම වැනි දේ මාධ්‍යයට පැවරී තිබුණත් අද වන විට සිදුව ඇත්තේ වසර 30 ක් පුරා බිඳී ගිය අධ්‍යාත්මික ශික්ෂණය ජාතීන් අතර වර්ග අතර ඇති කිරීම ය. ඔවුන් අතර මානව සබඳතා නිෂ්පාදනය කිරීම, සංහිඳියාව ඇති කිරීම, සාමය, සමගිය ඇති කිරීමය. දේශපාලන විසඳුමකට යාමට අවශ්‍ය විශාල කතිකාවක් සකස් කිරීම අද වන විට මාධ්‍යයේ පොදු අභියෝගය බවට පත්ව තිබේ. එහෙත් ඒ සඳහා ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්‍රියාත්මක වනවාද යන්න ගැටලුවට කරුණකි.

ඒ අභියෝගය එසේ තිබියදී මේ වන විට රාජ්‍ය හා පෞද්ගලික වශයෙන් මාධ්‍ය බෙදී ඇත. සමාජය තුළ ක්‍රියා කරන විට සමාජ සිද්ධි අධ්‍යයනය කරන විට ඒවා පොදු මූලධර්ම වලට අනුව සිදු වන නිසා මෙහි විද්‍යාත්මක පදනමක් දක්නට නොලැබේ.

වර්තමානය වන විට මාධ්‍ය මඟින් සිදු වන්නේ හරසුන් ව්‍යාජ විඥානයක් සමාජය තුළ ඇති කිරීමට පියවර ගැනීමය. එහෙත් කළ යුත්තේ පශ්චාත් ලාංකේය යුද සමයේ සිදුවන දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ක්‍රියාවලිය පිළිබඳ නිවැරදි තීන්දුවක් ගැනීමට අවශ්‍ය අදහස් සමාජගත කිරීමය. එහෙත් එය සිදු නොවේ. මෙය රාජ්‍ය හා පෞද්ගලික යන මාධ්‍ය දෙකටම පොදු තත්ත්වයක්ව තිබේ. මෙවන් තත්ත්වයක් තුළ පවත්නා ප්‍රශ්න ජය ගැනීම සඳහා මාධ්‍යයට ප්‍රධාන අරමුණු දෙකක් ඔස්සේ ක්‍රියා කිරීමට සිදුවනු ඇත. ඒ පවත්නා රාජ්‍ය මාධ්‍ය වත්මන් පරිසරයට සුදුසු පරිදි සැකැසීම සහ ජාතික සහ ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවත්නා ආර්ථික ව්‍යුහයන් තවදුරටත් වර්ධනයට ඉවහල් වන පරිදි ආර්ථික මතවාදයක් ගොඩනගා දේශපාලනඥයන්ට සහ සිවිල් සමාජයට නිවැරැදි තීන්දුවක් ගැනීමට හැකි ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමය.

ඉරෝෂිණී දීපිකා
Source -Dinamina

.

No comments:

Post a Comment

blog

uk blog reader

TRUST ගැන

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟාරාව ඔබ වෙත පිරිනමන්නේ ඉමහත් සතුටෙන්. මෙම සඟරාව මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කථිකාවක් ගොඩනැගීම අරමුණු කරගෙන ආරම්භ කර තිබෙන්නේ. විශේෂයෙන් සන්නිවේදන විෂය හදාරණ පිරිස් වෙත දැනුම බෙදාදීමේ මාධ්‍ය සඟාරාවේ ප්‍රමුඛ අභිප්‍රාය වී තිබේ. එය ජයගනු සඳහා ඔබගේ දායකත්වය සැමදා අප බලාපොරොත්තු වෙමු. TRUST අපි

On line

 

ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

ජන සන්නිවේදනය, ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයේ ඔබගේ දැනුම බෙදා ගන්න අප සමඟ එක්වන්න.. ඔබගේ සාරගර්භ අඳහස් අපවෙත ලියන්න.ජනමාධ්‍ය ගැන අලුත් විදියට දකිනවද?

Face book

අඳහස්

TRUST අන්තර්ජාල මාධ්‍ය සඟරාවේ පළ කෙරෙන ලිපි සහ විශේෂාංගවල කියැවෙන අඳහස් එම ලේඛකයන්ගේ අඳහස් බව සලකන්න
Designed By Blogger Templates - Published By Gooyaabi Templates | Powered By Blogger