( "ජාත්‍යන්තර විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ සමාජ දිනය නිමිත්තෙනි)
සන්නිවේදනය සහ තාක්‍ෂණය පුළුල්වීමත් සමඟ සමාජ මානවයා විශ්වය සමඟ තොරතුරු හුවමාරුකර ගැනීමේ පිපාසයකින් පෙළෙමින් සිටියි.
මේ වන විට නූතන සන්නිවේදන විද්‍යාඥයන් ගවේෂණය කරනු ලබන්නේ අපගේ පෘථිවියෙන් බැහැර වූ වෙනත් ග්‍රහලෝකවල ජීවත්වන කිසියම් දියුණු ප්‍රාණීන් සිටී ද යන්නත්, එකී ප්‍රාණීන් සමඟ තොරතුරු හුවමාරු කර ගන්නේ කෙසේද? යන්නත්, පිළිබඳව ය.
මෙවැනි දියුණු සමාජ සංස්‌කෘතියක් තුළ සන්නිවේදනය සහ තොරතුරු තාක්‍ෂණයෙන් තොරව කවර හෝ ජන සමූහයක පැවැත්මක් ගැන සිතිය නොහැකිය. සන්නිවේදනය සහ තොරතුරු තාක්‍ෂණය මානවයාගේ සමාජ අවශ්‍යතාවක් මෙන්ම සමාජ සබඳතා ගොඩනංවන ප්‍රධාන සාධකයක් බවට පත් වී තිබේ. එසේම සන්නිවේදනය සහ තොරතුරු තාක්‍ෂණය මානව සමාජයේ ඉදිරි පැවැත්මට මෙන්ම මානව සංවර්ධනයට ද එක සේ බලපානු ලබයි.
ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය මගින් සිදුකළ හැකි මෙහෙවර අතිවිශාලය. දිනෙන් දින වෙනස් වන සමාජය තුළ පොදු ජනතාවගේ විඥනය පුළුල් කරමින්, සමාජ සංවර්ධනයක් සිදුකිරීමට යැමේදී සන්නිවේදනය සහ තොරතුරු තාක්‍ෂණය බෙහෙවින් උපකාරී වේ. එමෙන්ම අපගේ සමාජය අපේක්‍ෂිත ඉලක්‌ක කරා යොමු කරවීම සම්බන්ධව සහ නව මුහුණුවරකින් යුත් මාධ්‍ය සංස්‌කෘතියක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ද මෙම තාක්‍ෂණික භාවිතාව වැදගත් වනු ඇත.
සන්නිවේදනය සහ තොරතුරු තාක්‍ෂණයේ නැගීමක් සමඟ එම විෂය ක්‍ෂේත්‍රය තුළ නව ප්‍රවණතා, සංකල්ප සහ විවිධ සන්නිවේදන ක්‍රියාකාරකම් මතු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1969 මැයි මස 17 වැනි දිනෙන් ආරම්භ කෙරුණු ජාත්‍යන්තර විදුලි සංදේශ දිනය පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ යුතුව තිබේ. ඉන් අනතුරුව සෑම වර්ෂයකම එම විශේෂිත දිනය සමරා තිබෙන අතර, එම වකවානුව තුළ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය බිහිවී ඇති බවද මූලාශ්‍රවලින් හෙළි වේ.
පසුව වර්ෂ 2005 නොවැම්බර් මාසයේ දී රැස්‌වූ ජාත්‍යන්තර තොරතුරු තාක්‍ෂණ සමාජය විසින් එවක පැවැති එක්‌සත් ජාතීන්ගේ මහා සමුළුව වෙත මැයි මස 17 වැනි දින "ජාත්‍යන්තර තොරතුරු තාක්‍ෂණ දිනය" වශයෙන් නම් කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව තොරතුරු තාක්‍ෂණ විෂය ක්‍ෂේත්‍රයේ වැදගත්කම සහ එම තාක්‍ෂණය භාවිත කළ ජන සමාජවල උද්ගත වී තිබුණු ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධව විශේෂ අවධානයක් යොමුවීමෙන් අනතුරුව එවක එක්‌සත් ජාතීන්ගේ මහා සමුළුව විසින් මැයි මස 17 වැනි දින ජාත්‍යන්තර තොරතුරු තාක්‍ෂණ සමාජ දිනය ලෙස නම් කරන ලදී.
කරුණු කාරණා එසේ පැවැතිය දී වර්ෂ 2006 නොවැම්බර් මාසයේ දී තුර්කි රාජ්‍යයේ දී පවත්වන ලද ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ රාජ්‍යතාන්ත්‍රික සමුළුවේදී ලෝක විදුලි සංදේශ දිනය සහ ජාත්‍යන්තර තොරතුරු තාක්‍ෂණ දිනය එකම දිනයකදී පැවැත්වීමට යෝජනා වී තිබෙන අතර, එදා සිට මේ දක්‌වා සෑම වර්ෂයකම මැයි මස 17 වැනි දින "ජාත්‍යන්තර විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ සමාජ දිනය" වශයෙන් සැමරීම ආරම්භ වී තිබේ.
මේ අනුව 2013 වර්ෂයේ "ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනයේ" තේමාව බවට පත්වී තිබෙන්නේ "තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සහ මාර්ග සුරක්‍ෂිතතාව ඉහළ නැංවීම" යන්නයි.
තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය විවිධ සමාජ ස්‌ථර නියෝජනය කරන ජන සමූහවල සන්නිවේදන අවශ්‍යතා වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් සිදුකරනු ලබයි. මෙහිදී සන්නිවේදන සහ තාක්‍ෂණික ක්‍රමවේද අපගේ ජන සමාජය තුළ ද දිනෙන් දින ප්‍රචලිත වෙමින් තිබේ. එබැවින් වේගවත් සමාජ සංවර්ධනයට මුහුණ දීම සඳහා නවීනත්වයේ පහසුකම් රිසි සේ පරිහරණය කිරීමට අපේ රටේ පුරවැසියන් ද හුරු විය යුතුය.
එසේම මේ වන විට ජාතික මාර්ග සංවර්ධනයට සුවිශේෂී වූ ස්‌ථානයක් හිමි වී තිබේ. ගම් සහ නගර කේන්ද්‍රකර ගනිමින් දියුණු මාර්ග පද්ධති නිර්මාණය වෙමින් පවතී. මේ අනුව 2013 වර්ෂය වෙනුවෙන් ජාත්‍යන්තර විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනයට සමගාමීව නම් කර තිබෙන තේමා පාඨය ද අපේ රටට ඉතාම වැදගත් වනු ඇත.
වර්තමානයේ අපේ රටේ මාර්ගවල ධාවනය වන බොහෝ රථවාහන මගින් විවිධ අනතුරු සහ දුෂ්කරතා මතු වී තිබේ. මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා ද කාලය එළඹ තිබේ. විශේෂයෙන් මේ වන විට අප රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින අධිවේගී මාර්ග ආරක්‍ෂිතව භාවිත කිරීම සම්බන්ධව නිරතුරුවම දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක දැඩි අවශ්‍යතාවක් පවතී. අධිවේගී මාර්ගවල රිය පැදවීමේදී සිදුවන හදිසි අනතුරු සහ ආපදා වළක්‌වා ගැනීම පිණිස නව සන්නිවේදන තාක්‍ෂණික ක්‍රමවේද ලොව පුරා ව්‍යාප්ත වී තිබෙන අතර, එකී තාක්‍ෂණය වගකීමෙන් සහ ආරක්‍ෂාකාරීව භාවිත කිරීමට හුරුවිය යුතුව ඇත. එමෙන්ම වර්තමානයේ දී ප්‍රධාන වශයෙන් සංවර්ධනය වෙමින් පවත්නා රටවල්වල සෑම වර්ෂයකම වාහන අනතුරුවලින් මිලියන 13 ක පමණ ජනතාවක් මිය යන බවත්, මිලියන 30 ත් 50 ත් අතර ප්‍රමාණයක ජනතාව තුවාල ලබන බවත්, මූලාශ්‍රවලින් හෙළි වී තිබේ.
විවිධ සන්නිවේදන ක්‍රම සහ උපකරණ උපයෝගී කරගෙන තම වාහනය පැදවීම කිසිසේත් යෝග්‍ය නොවනු ඇත. අපේ රට තුළ රිය අනතුරු මෙන්ම වෙනත් ආපදා ඉහළ යැමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ රිය පදවන විට ජංගම දුරකථන භාවිත කිරීම සහ ගුවන් විදුලියට සවන් දීම වැනි අතිරේක කාර්යයන් ය. මෙවැනි අවස්‌ථාවලදී තම වාහනය පදවන විට කිසිදු අයුරකින් තම දැත් භාවිත නොකරන උපකරණ සහ ආරක්‍ෂිත සම්බන්ධක උපකරණ පමණක් භාවිතය ප්‍රවර්ධනය කරන ලෙසට ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් මේ වන විටත් අවශ්‍ය මගපෙන්වීම් සහ උපදෙස් ලබා දී තිබේ. මේ අනුව මාර්ග සුරක්‍ෂිතතාව සඳහා අප සියලු දෙනාගේම විශේෂ අවධානය යොමු විය යුතු බව පැහැදිලි වන කරුණකි. මහා මාර්ග සුරක්‍ෂිතතාව වැඩිදියුණු කිරීමෙහිලා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය භාවිත කිරීම පිණිස ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවක් ද පවතී. මේ අනුව රිය පැදවීමේදී අනුගමනය කළ යුතු තාක්‍ෂණික ක්‍රමවේද ඵලදායීව යොදා ගැනීම සහ සන්නිවේදන පද්ධති සහ ඒවා පරිහරණය කරන ආකාරය පිළිබඳ ප්‍රමිති ද ඉදිරියේ දී අප සැවොම හඳුනාගත යුතුව තිබේ.
ජනතාවගේ සාමාන්‍ය දැනීම වර්ධනය කර ගැනීමට සහ වේගවත් සංවර්ධනය හමුවේ පොදු ජන විඥනය ඉහළටම නංවා, ජාතික සංවර්ධනයට සාර්ථකව මුහුණදීමට හුරුකර වීමේදී. සන්නිවේදනය සහ තොරතුරු තාක්‍ෂණය නියත වශයෙන් වැදගත් වන බව ප්‍රත්‍යක්‍ෂය.
එසේම ක්‍රමවත් ප්‍රවාහන පද්ධතියක් ස්‌ථාපිත කිරීම උදෙසා ජාත්‍යන්තර විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනයේ දී මෙවර තේමාව බවට පත් වූ "තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සහ මාර්ග සුරක්‍ෂිතතාව ඉහළ නැංවීම" යන සංකල්පය ද අපේ රටේ වේගවත් සංවර්ධන ක්‍රියාවලියට බෙහෙවින් වැදගත් වනු ඇත.
අනුෂාද් වෙදගේ
කැලණිය විශ්වවිද්‍යාලය
මූලාශ්‍රය- ධිවයින
No comments:
Post a Comment